මඩකලපුව ප්‍රදේශයේ පිහිටි ප්‍රධානම පෙළේ කොටි කැඳවුර වූ “බේරූම් බේස්” කඳවුර විනාශ කිරීම සඳහා විශේෂ කාර්ය බලකාය දැවැන්ත මෙහෙයුමක් සැළසුම් කළහ. බේරූට් බේස් කඳවුරේ නායකයා වූ කුමාර් අප්පන් විනාශ කර කොක්අඩිචෝලේ බලය අත්පත්කර ගැනීම විශේෂ කාර්ය බලකායේ අරමුණ විය.
ඒ 1987 වර්ෂයේ ජනවාරි මස 28 වැනිදා අලුයම් කාලයයි. මඩකලපුව ප්‍රදේශයේ පිහිටි සියලුම විශේෂ කාර්ය බළකා කඳවුරු අවදියෙන්ය. “ඔපරේෂන් ඩේ බ්රේක්” බිහිසුණු ක්‍රියාන්විතය ආරම්භ කිරීමට තවත් තිබුණේ සුළු වේලාවකි.
හෙලිකොප්ටර් යානාවලින් ගොස් කොක්අඩිචෝලේ “බේරූට් බේස්” කඳවුර තුළට ඇතුළු වී ප්‍රහාර එල්ල කරන කණ්ඩායම් 4 මුලින්ම මෙහෙයුමට එක්වීමට සූදානමින් සිටියහ.
මෙහෙයුමට නායකත්වය දෙන සහකාර පොලිස් අධිකාරි නිමල් ලෙව්කේ, පොලිස් පරීක්ෂකවරුන් වූ රංජිත් පෙරේරා, උපාලි සිල්වා ඇතුළු නිලධාරීන් රැඳී සිටියේ කල්අඩි කඳවුරේය.
පොලිස් පරීක්ෂක එම්. ආර්. ලතීෆ්, උප පොලිස් පරීක්ෂක අනූෂ ප්‍රියන්ත ද අල්විස් ඇතුළු නිලධාරීහු ඌරනිය කඳවුරේ සූදානමින් සිටියහ. ඔවුන් සියලු දෙනා මඩකලපුව ගුවන් හමුදා කඳවුර වෙත යැමට පිටත්වූයේ අළුයම 4 ට පමණය.
බේරූට් බේස් කඳවුරට මුලින්ම ඇතුළුවීමට නියමිතව සිටියේ ලතීෆ් ප්රමුඛ නිලධාරින්ය. ඌරනිය කඳවුරෙන් පිටවීමට ගිය උප පොලිස් පරීක්ෂක අනූෂ ප්‍රියන්ත ද අල්විස් ආපසු හැරී තම සගයන් සිටි බිලට්ටුව වෙත දිව ගියේය. අල්විස් දුටු මිතුරෝ පුදුමයට පත් වූහ.
මචං……….මේ අල්විස්ගේ මුහුණ ආයෙ උඹලට දකින්න ලැබෙයිද දන්නෙ නැහැ. ඒ නිසා අන්තිම වතාවට මගේ මුහුණ හොඳට බලා ගනිල්ලා……
සිය මිතුරන්ගෙන් සමුගත් අල්විස් ඌරනිය කඳවුරෙන් පිටව යන සිය සගයන්ට එක් වූවේය.
ඌරනිය සහ කල්අඩි කඳවුරෙන් පිටත්වූ නිලධාරීහු මඩකලපුව ගුවන් හමුදා කඳවුර වෙත එද්දී හෙලිකොප්ටර් යානා දෙකක් මෙහෙයුමට සූදානම් කර තිබිණි.
එවකට ගුවන් හමුදාවේ සිටි දක්ෂ ගුවන් නියමුවන් වූ රොෂාන් ගුණතිලක (වර්තමානයේ මාණ්ඩලික ප්‍රධානී), නාමල් ප්‍රනාන්දු (වර්තමානයේ ශ්‍රිලංකන් ගුවන් සේවයේ රාජකාරි කරයි.) එක් හෙලිකොප්ටර් යානයකත් රමේෂ් මෙන්ඩිස් සහ ප්රේමචන්දා අනෙක් යානයත් රැගෙන යැමට සූදානම්ව සිටියහ.
ලතීෆ්, ප්‍රියන්තද අල්විස් ප්රමුඛ නිලධාරීන් දස දෙනකු රැගත් හෙලිකොප්ටර් යානය කොක්අඩිචෝලේ කොටි කඳවුර ඉහළ අහසේ පියාසර කරන්නට විය.
ඝන අන්ධකාරය තවමත් පහව ගොස් නැත. ඒවනවිට මහා වර්ෂාවක්ද ඇද හැලෙමින් තිබිණි. දැඩි වර්ෂාවත් ඝන අන්ධකාරයත් ආශිර්වාදයක් කර ගත් විශේෂ කාර්ය බළකායේ නිලධාරීහු කොටි කඳවුර වෙත කඩාපනින්නට සූදානම් වූහ. දැඩි වර්ෂාව නිසා යානය පහළට ගෙන ඒම දුෂ්කර විය. අඩි 25 ක් 30 ක් ඉහළ අහසේ සිට බිමට පනින ලෙස විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ට උපදෙස් ලැබිණි. හෙලිකොප්ටර් යානය කොක්අඩිචෝලේ කොටි කඳවුර අසල විශාල කුඹුරු යායකට පහත් කරද්දී ලතීෆ් ඇතුළු නිලධාරීහු ඉන් බිමට පනින්නට වූහ.
ජලයෙන් පිරී ගිය කුඹුරට වැටුණු විශේෂ කාර්ය බළකායේ නිලධාරීහු මඩ ගොඩේ බඩගාමීන් ගොස් එක්තරා ස්ථානයකදී එකතු වූහ. මෙහෙයුම ක්‍රියාත්මක කරගෙන යායුතු ආකාරය පිළිබඳව ලතීෆ් සිය සහෝදර නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
“බේරූට් බේස්” කොටි කඳවුර මායිමට තමන් පැමිණ සිටින බව ලතීෆ් හෝ සෙසු නිලධාරීන් දැන සිටියේ නැත.
මනල්පිටිය හන්දියට අපි යන්න ඕනේ. හැමෝම හොඳ අවධානයෙන් ඉන්න කොයි වෙලාවක හරි කොටි ඇටෑක් කරන්න පුළුවන්……. ලතීෆ් සිය සගයන්ට කීවේය.
විශේෂ කාර්ය බළකායේ අභීත නිලධාරීහු ඝන අන්ධකාරය මැදින් ඉදිරියට ඇදෙන්නට වූහ.
මේ අතර නිමල් ලෙව්කේ ඇතුළු නිලධාරීහු කොක්අඩිචෝලේ අම්බලන්තුරේ ප්‍රදේශය වෙත ගුවනින් පැමිණ මඩවගුරකට පැන ස්ථාන ගතව සිටියහ.
රංජිත් පෙරේරා ප්රමුඛ අනෙක් කණ්ඩායම මනල්පිටිය හන්දියට කිලෝමීටර් 2 ක් පමණ දුරින් වූ ස්ථානයකදී හෙලිකොප්ටර් යානාවෙන් පැන ස්ථාන ගත වූයේ ප්‍රහාරය සඳහා නියෝග ලැබෙනතුරුය.
හිරු උදාවන්නට පෙර කොක්අඩිචෝලේ බේරූට් බේස් කඳවුර වෙත පිවිසෙන ප්‍රධාන මාර්ගවල බලය සියතට ගැනීම විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ගේ අරමුණ වී තිබිණි. නිලධාරින් උත්සාහ කළේ ත්රස්තවාදීන්ට නොදැනෙන්නට කොටි කඳවුර භූමිය ආක්‍රමණය කිරීමටය.
එහෙත් අවස්ථා හතරකදී හෙලිකොප්ටර් යානා කඳවුරු භූමිය ඉහළ අහසේ පියාසර කිරීම පිළිබඳව ත්රස්තවාදීහු විමසිලිමත් වූහ.
විශේෂ කාර්ය බළකාය තමන් වෙත හදිසි ප්‍රහාරයක් එල්ල කිරීමට උත්සාහ කරන බව තේරුම්ගත් කොටි ත්රස්තවාදීහු හොර රහසේම කඳවුර වටා වූ ආරක්ෂිත ස්ථාන වෙත ගොස් සූදානමින් සිටියහ. මේ බව විශේෂ කාර්ය බලකායේ නිලධාරීහු දැන සිටියේ නැත.
ගුවන් මෙහෙයුම මේ ආකාරයට ක්‍රියාත්මක වෙද්දී වව්නතිව් විශේෂ කාර්ය බළකා කඳවුරෙන් පිටත් වූ පොලිස් පරීක්ෂක කේ. යූ. ප්‍රනාන්දු, උප පොලිස් පරීක්ෂක උදය කුමාර ඇතුළු නිලධාරීහු පාගමනින්ම කොක්අඩිචෝලේ කඳවුර වෙත ප්‍රහාර එල්ල කිරීමට පැමිණෙමින් සිටියහ.
සහකාර පොලිස් අධිකාරි රොහාන් අබේවර්ධන, පොලිස් පරීක්ෂක මහේෂ් වැලිකන්න (ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රාජ්‍ය බුද්ධි තොරතුරු), ඩබ්ලිව්. ඡේ. ජාගොඩආරච්චි (ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අධ්යක්ෂ ජනාධිපති ආරක්ෂක අංශය), රොහාන් සිල්වා ප්රමුඛ තවත් නිලධාරීහු කණ්ඩායමක් කලවන්චිකුඩි කඳවුරෙන් පිටත්ව ඉදිරියට ගමන් කරන්නට වූහ.
ගුවනින් ගිය විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් කොටි කඳවුරට ප්‍රහාර එල්ල කර එහි බලය අත්පත් කර ගනිද්දී ඔවුන්ගේ සහායට මෙම නිලධාරීහු පිරිස භූමිය ඔස්සේ පැමිණීමට නියමිතව සිටියහ. කොටි කඳවුර අත්පත්කර ගැනීමෙන් පසු එහි විශේෂ කාර්ය බළකායේ කඳවුරු පිහිටු වීමට සැලසුම් විය. නිලධාරීන්ට සතියකට පමණ අවශ්‍ය ආහාරපාන, ජලය සහ අවි ආයුධ සියල්ල රැගෙන යනු ලැබුවේ භූමිය ඔස්සේ ඉදිරියට ඇදුණු නිලධාරීන් විසින්ය. භූමිය ඔස්සේ පැමිණි නිලධාරීහු බෆල් රථවලින්ද සන්නද්ධව සිටියහ.
කොටි ත්රස්තවාදීන් මාර්ගයේ තැනින් තැන බිම් බෝම්බ අටවා තිබෙන නිසා බෆල් රථවල නිලධාරීන් සිව්දෙනකුට වඩා ගමන් නොකරන ලෙස උපදෙස් ලැබී තිබිණි. එසේ කරනු ලැබුවේ බµල් රථයක් බිම් බෝම්බයකට හසුවුවොත් සිදුවිය හැකි ජීවිත හානි අවම කිරීමටය.
එම්. ආර්. ලතීෆ් ඇතුළු නිලධාරිහු කුඹුරුයාය හරහා ගොස් බොරලුපාරකට අවතීර්ණ වූහ. පසුව ඔවුන් මනල්පිටිය හන්දිය දෙසට ගමන් කරමින් සිටියහ. අඩි 10 ක පමණ පළලින් යුක්ත වූ මාර්ගයේ වම් පැත්තේ ඉදිරියෙන් අල්විස් ගමන් කරමින් සිටි අතර දකුණු පස ලතීෆ් ගමන් කරමින් සිටියේය. ඔවුන්ට වැඩිදුරටක් ඉදිරියට යැමට ඉඩ ලැබුණේ නැත. සැඟවී සිටි කොටි ත්රස්තවාදීහු අනපේක්ෂිත ප්‍රහාරයක් එල්ල කරන්නට වූහ. තොරතෝංචියක් නොමැතිව එල්ල වූ එල්. එම්. ජී. වෙඩි හඬින් මුළු කොක්අඩිචෝලේ ප්‍රදේශයම දෙදරුම් කන්නට විය.
ඩවුන්…………ඩවුන්……… ලතීෆ් සිය සගයන්ට කෑගසන්නට වූවේය. ක්ෂණිකව ක්‍රියාත්මක වූ නිලධාරීහු පිරිස බිම දිගා වෙමින් ප්රතිප්රහාරයකට සූදානම් වූහ. ලතීෆ්ට පිටුපසින් සිටියේ කොස්තාපල් (6300) සිරිවර්ධනය. එල්. එම්. ජී. වෙඩි ප්‍රහාරයක් ඔහු පැළඳ සිටි දකුණු අතේ සුදු යකඩ වළල්ල වෙත වැදී තිබිණි. වළල්ලට වැදුණු වෙඩි උණ්ඩය ලිස්සා ගොස් ඔහුගේ දකුණු අත තුවාල විය. පණිවුඩ හුවමාරු කට්ටලය භාරව සිටි නිලධාරියා සිටියේ පිටුපසින්ය. ඉදිරියෙන් ගමන් කරමින් සිටි ලතීෆ් වෙඩි ප්‍රහාරයට ලක්වූ බව සිතූ ඔහු පණිවුඩ හුවමාරු යන්ත්‍ර හරහා ඒ බව දැනුම් දුන්නේය. යුද බිමේදී ලතීෆ් හැඳින්වූයේ මයික් යන රහස්‍ය නාමයෙන්ය.
“මයික් සන්රේ අවුට්” යනුවෙන් රහස්‍ය වචන භාවිත කරමින් ප්‍රහාරය පිළිබඳව අනෙක් කණ්ඩායම්වලට දැනුම් දුන්නේය.
සිය සගයා වැරැදි පණිවුඩයක් දුන් බව දැනගත් ලතීෆ් කෑගැසුවේය.
මට වෙඩි වැදුණෙ නැහැ. මම හොඳින් ඉන්නවා. පණිවුඩය නිවැරැදි කරන්න.
එහෙත් ඒ වනවිට පණිවුඩය විශේෂ කාර්ය බළකායේ සෙසු කණ්ඩායම් වෙත ලැබී තිබිණි. ලතීෆ් වෙඩි ප්‍රහාරයකට ලක්වූ බව සැලවීමත් සමගම ඔවුහු කලබල වූහ.
විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් රැගෙන ආ පණිවුඩ හුවමාරු යන්ත්‍ර අක්රියකිරීමේ තාක්ෂණයක් කොටි ත්රස්තවාදීන් සතු විය. සැණෙකින් ක්‍රියාත්මක ත්රස්තවාදීහු විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් සතු පණිවුඩ හුවමාරු යන්ත්‍ර අක්‍රිය කිරීමට කටයුතු කළහ.
විශේෂ කාර්ය බළකායේ නිලධාරීහු ඉන් බරපතළ ගැටලුවකට මුහුණපෑහ. වාසනාවකට ඔවුන් සතු මෝටර් රෝලා යන්ත්‍රය පමණක් ක්‍රියාත්මක වෙමින් තිබිණි.
සැඟවී සිටින කොටි ත්රස්තයෝ නොනවත්වාම වෙඩි ප්‍රහාර එල්ල කරමින් සිටියහ. ඉදිරියෙන් බිම වැතිර සිටි අනූෂ ප්‍රියන්ත ද අල්විස් හිස ඔසවා පිටුපස බැලුවේ ලතීෆ් වෙඩි ප්‍රහාරයකට ලක්වී ඇද්දැයි සැකහැර ගැනීමටය.
ඒ බව දුටු ලතීෆ් තමන් නිරුපද්‍රිතව සිටින බව කියමින් ඔහුට අතින් සංඥ කළේය. ඒ සමඟම අල්විස්ගේ හිස එකවරම කඩා වැටුණු බවත් ලතීෆ් දුටුවේය. ලතීෆ් සිය සගයාගේ නම කියා කිහිපවරක්ම කෑගැහුවද පිළිතුරක් නැත.
අල්විස් වෙඩි ප්‍රහාරයකට ලක්වූ බව තේරුම් ගත් ලතීෆ් කලබලයෙන් ඉදිරියට යැමට උත්සාහ කළේය. ලතීෆ්ට පිටුපසින් සිටි සැරයන් සිරිවර්ධන කෑගැසුවේය.
සර් නැගිටින්න එපා, උන් දිගටම ගහනවා. එහෙත් තුවාල ලබා සිටින සිය සගයා අසලට කෙසේ හෝ යා යුතු විය. ලතීෆ් තමන් සතුව තිබූ දුම් බෝම්බ දෙකක් එල්ල කළේය. මුළු ප්‍රදේශයම දුමින් වැසී යද්දී නැගී සිටි ලතීෆ් සිය ජීවිතය ගැන පවා ආශාවන් අත්හැර සගයා වැටී සිටි ස්ථානය වෙත දිව ගියේය.
අල්විස්………අල්විස්……… කතා කරන්න මම ඔයා ළඟ ඉන්නේ.
ලතීෆ් සිය සගයාගේ සිරුර සොලවමින් කෑගසයි. එහෙත් අල්විස් නිසොල්මන්ය. අල්විස්ගේ හිස එසවූ ලතීෆ් ඔහු පැළඳ සිටි හෙල්මට්ටුව ගැලවුවේය. ඔහුගේ හිස රුධිරයෙන් නැහැවී ගොසින්ය. අල්විස් මොනවාදොa කීමට උත්සාහ කරයි. එහෙත් ඔහුගේ මුවින් වචන පිටවෙන්නේ නැත.
ලතීෆ් ඔහුගේ හිස ප්‍රදේශය පරික්ෂා කර බැලුවේය. හිස පැත්තකට එල්ල වූ වෙඩි ප්‍රහාරයක් අනෙක් පසින් පිටවී ගොස් තිබෙනු දුටු ලතීෆ් දැඩි කම්පනයට පත් වූවේය. ඔහු ඒ බව පෙන්නුවේ නැත. ඔයා කිසිදේකට බය වෙන්න එපා මම ඔයාව කොහොම හරි බේරගන්නවා.
ලතීෆ් සිය සගයා අස්වසාලන්නට උත්සාහ කළේය. දරාගත නොහැකි වේදනාවකින් සිටියද අල්විස් ඒ වේදනාව යටපත් කරගෙන ලතීෆ් දෙස බලා යන්තමින් සිනා වූයේය. අල්විස් පැළඳසිටියේ එවකට රුපියල් ලක්ෂයක් වටිනාකමින් යුත් හෙල්මට්ටුවකි. එය වෙඩි නොවදිනා එකක් විය. එහෙත් අල්විස්ගේ හිස පසාරු කරගෙන වෙඩිඋණ්ඩය වැදුනේ කෙසේද.
අල්විස් සිය ගෙලබැඳි රන්මාලය අත ගා බලා එය ලතීෆ්ට පෙන්නුවේය. එහි “අනූෂ” යනුවෙන් ඉංග්‍රීසියෙන් ලියූ පෙන්ඩනයක් විය. ලතීෆ් අල්විස්ගේ කරබැඳි මාලය ගලවා ගත්තේ පසුව ඔහුට එය නැවත ලබාදෙන බලාපොරොත්තු ඇතිවය.
අල්විස්ගේ හිස එකවරම ඉදිමෙන්නට විය. විටින් විට ඔහු මුව විවර කරයි. තත්ත්වය එන්න එන්නම නරක අතට හැරෙන බව ලතීෆ් තේරුම් ගත්තේය.
චොපර් එකකට ඉක්මනට එන්න කියන්න. අපි කොහොම හරි අල්විස්ව හොස්පිට්ල් එකට යවන්න ඕනෙ.
ලතීෆ් කෑගැහුවේය. ක්‍රියාත්මක වෙමින් තිබූ මෝටර්රෝලා යන්ත්‍රය මාර්ගයෙන් කල්අඩි කඳවුරට කතා කළ නිලධාරියකු ඇතිවී තිබෙන තත්ත්වය දැනුම් දුන්නේය.
ත්රස්තවාදීන්ගේ වෙඩිතැබීම නොනවත්වා සිදුවෙයි. විශේෂ කාර්ය බළකායේ නිලධාරීහු ද ඊට සාර්ථකව මුහුණ දෙමින් ප්‍රතිප්‍රහාර එල්ල කරමින් සිටියහ.
සුළු වේලාවක් ගතවෙද්දී ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානයක් කොක්අඩිචෝලේ කොටි කඳවුරට ඉහළ අහසේ සැරිසරන්නට විය. වෙඩි වැදී තුවාල ලබා සිටින අල්විස් රැගෙන යැම ඔවුන්ගේ අරමුණ වී තිබිණි.
ලතීෆ් ඇතුළු කණ්ඩායම ස්ථාන ගතව සිටි ස්ථානය දෙසට හෙලිකොප්ටර් යානය පහත් කරද්දී ත්රස්තවාදීහු ඊට ප්‍රහාර එල්ල කරන්නට වූහ.
වෙඩි ප්‍රහාර කීපයක් හෙලිකොප්ටර් යානය වෙත එල්ල වූයේ කවුරුත් නොසිතූ අවස්ථාවකය. තත්ත්වය ඉතාම අනාරක්ෂිත බව තේරුම් ගත් හෙලිකොප්ටර් යානයේ සිටි නියමුවන් එක්වරම නැවත ඉහළට ගමන් කළේ ලතීෆ් ඇතුළු සගයන්ගේ බලාපොරොත්තු සුන් කර දමමින්ය.
අපි දැන් මොකද කරන්නේ අල්විස්ට මෙතන මැරෙන්න දෙන්න බැහැ. කොහොම හරි එයාව බේරගන්න ඕනේ.
ලතීෆ් ඇතුළු නිලධාරීහු ඒ වනවිට දැඩි අසරණ තත්ත්වයට පත්ව සිටියහ. දැවැන්ත වෙඩි බලයක් යොදාගනිමින් කොටි ත්රස්තවාදීහු නොනවත්වාම ප්‍රහාර එල්ල කරති. ජීවිත පිළිබඳ තිබූ සියලු ආශාවන් ඔවුහු අතහැර දමා සිටියහ.
අම්බලන්තුරේ මංසන්ධියේ ස්ථානගතවී සිටි සහකාර පොලිස් අධිකාරි නිමල් ලෙව්කේ ඇතුළු නිලධාරීහු ඒ වනවිට ප්‍රහාර එල්ල කරමින් සිය සගයන් අනතුරට පත්ව සිටින ස්ථානය වෙත ළඟාවීමට දැඩි උත්සාහයක නිරතව සිටියහ.
ත්රස්තවාදීහු දැඩි වෙඩි බලයක් යොදාගනිමින් ඔවුන් වෙත නොනවත්වා ප්‍රහාර එල්ල කරමින් සිටි නිසා ලෙව්කේ ප්රමුඛ නිලධාරීන්ට ඉදිරියට ගමන් කිරීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවීය.
මේ අතර රංජිත් පෙරේරා ප්රමුඛ නිලධාරීන්ට ද ඇතිවී තිබෙන තත්ත්වය සැලවී තිබිණි. ඔවුන් ලතීෆ් ඇතුළු පිරිස ස්ථානගතවී සිටි ස්ථානයට සෑහෙන දුරකින් සිටීම නිසා එහි ළඟාවීම ඉතාම අපහසු විය. සහායක කණ්ඩායම් පැමිණෙනතුරු ලතීෆ් ඇතුළු නිලධාරීහු පිරිස මරාන්තික සටනක නිරතව සිටියහ. ඔවුන්ගේ මූලිකව අරමුණ වී තිබුණේ තුවාල ලබා දැඩි ලෙස අසාධ්‍ය තත්ත්වයෙන් සිටි අල්විස් කෙසේ හෝ ප්‍රතිකාර සඳහා පිටත් කර යෑවීමටය.
තම මුහුණ අවසන් වතාවට බලා ගන්නා ලෙස අල්විස් සිය සගයන්ට කියූ ආකාරය මෙහෙයුමේ සිටි අනෙක් නිලධාරීන්ගේ සිත්වල හොල්මන් කරන්නට විය.
කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායමේ 1981 වර්ෂයේ නායකයා ලෙස කටයුතු කළේ අනූෂ ප්‍රියන්ත ද අල්විස්ය. පාසල් අධ්‍යාපනය නිම කිරීමෙන් පසු ඔහු පොලිස් විශේෂ කාර්ය බළකායේ උප පොලිස් පරීක්ෂකවරයකු ලෙස සේවයට එක්වූයේ දිගුගමනක් යැමේ අරමුණු ඇතිවය.
එහෙත් දෛවය ඔහුට හරස් වූවේය. ජීවිතයත් මරණයත් අතර මාරාන්තික සටනක නිරතව සිටි අල්විස් ප්‍රතිකාර සඳහා යෑවීමට ක්‍රමයක් සොයමින් ලතීෆ් ඇතුළු පිරිස බරපතළ ප්‍රශ්නයකට මැදිව සිටියහ.
ඒ අතර කොක්අඩිචෝලේ ප්‍රදේශයෙන් එකවරම බෆල් රථයක් මතුවනු දුටු ලතීෆ් ඇතුළු නිලධාරීන් පස්වනක් ප්‍රීතියෙන් පිනා ගියහ.
මහේෂ් වැලිකන්න ඇතුළු නිලධාරීහු දිවි පරදුවට තබමින් කොටි කඳවුරු වෙත නොකඩවාම ප්‍රහාර එල්ල කරමින් ලතීෆ් ඇතුළු පිරිස රැඳී සිටි ස්ථානය වෙත එමින් සිටියහ.
මානසික මට්ටමෙන් පතුලටම වැටී සිටි ලතීෆ් ඇතුළු නිලධාරීහු නව ජවයක් ඇතිව ත්රස්තවාදීන් වෙත ප්‍රහාර එල්ල කරන්නට පටන් ගත්හ.
Leave a comment