මිතුරන් ගැන සහ සතුරන් ගැන අපේ රටේ ජනශ්රැතිය තුළ හරි අපූරු කතාන්දර රාශියක් තිබේ. බෞද්ධ සාහිත්‍යයෙන් ආලෝකය ලද අපේ ජනශ්රැතිය තුළ බොහෝවිට කියවුණේ සතුරුකම හෝ මිතුරුකම ආත්ම කල්ප කාලයක් තිස්සේ පැවත එන ආත්මීය පුරුද්දක් බවය.
මේ නිසා සමහරු මිතුරුකම ගැන මහ ඉහළින් වර්ණනා කරන්නට වූහ. කවියෝ කීවේ “මිතුරු තුමෝ” දුක සැප දෙකෙහිම වෙසෙති – බිතු සිතුවම් රූ මෙන් පිටු නො පා විති” කියාය. ඒ ආකාරයෙන්ම සතුරුකම ද ආත්ම ගණනාවක් තිස්සේ රැගෙන විත් තව කල්ප කාලයක් ඉදිරියට ගෙන යන ධර්මතාවක් ලෙස අප ජන සාහිත්‍යකරුවා ලියා දැක්වූහ. කතා නිර්මාණය කර පරම්පරාවෙන් පරම්පරාවට පවත්වාගෙන ආවේ සේරිවාණිජ ජාතකයෙන් ද යම් යම් ආලෝකයන් ලබමින් බව අමුතුවෙන් කියාදිය යුතු නැත.
ජන සාහිත්‍යයේ හා බෞද්ධ සාහිත්‍යයේ පැවත එන මේ කතා සියල්ලක්ම අභියෝගයට ලක් කරමින් මීට දශක තුනකට පමණ ඉහතදී අපේ කාලයේ දේශපාලනඥයෙක් සතුරු මිතුරු සංකල්පය ගැන අලුත් අදහසක් ඉදිරිපත් කළේය.
ඔහු කීවේ දේශපාලනයේදී සදාකාලික සතුරන් හෝ සදාකාලික මිතුරන් නැති බවය…. ඔහුගේ එම කියමනෙන් පසු මේ රටේ ජනතාව මහත් සේ ගෞරවාදරයට ලක් කළ “දේශපාලනය” යන සංකල්පය පවා ජනතාවගේ උචිත පිළිකුලට පාත්‍ර වූ බව මට මතකය.
ඔහුගේ එම කියමන ප්‍රයෝජනයට ගනිමින් මේ රටේ අවස්ථාවාදී දේශපාලනඥයෝ හා නිලධාරීහු කල දුටු කල වළ ඉහ ගන්නට පටන් ගන්නේ සතුරන් මිතුරුවීම හෝ මිතුරන් සතුරන් කර ගැනීම මත නොව, සතුරුකම තබාගෙන සමාජයට පේන්නට හා අනෙකා රවටන්නට මිතුරන් සේ වැළඳගෙන ජීවත් වන්නට පුරුදුවීම තුළය… සමහර හොඳ මිතුරන් පවා අමතක කර අන් අයට පෙනෙන්නට ඔවුන් සතුරන් සේ සමාජයේදී සලකන්නට පුරුදුවීම තුළය.
අද අපට මේ රටේ සෑම ක්ෂේත්රයකම (වැඩිපුරම දේශපාලනයේ) දක්නට ඇත්තේ මේ ධර්මතාවයයි.
මේ පිළිබඳ අත්දැකීමක් ලැබීමට අවශ්‍ය නම් ඒ සඳහා හොඳ සක්‍රීය උදාහරණ අප අවට දේශපාලන සමාජ පරිසරයේ ඕනෑ තරම්ය. පාර්ලිමේන්තුවේ ඕනෑ තරම්ය. රජගෙවල්වල ඕනෑ තරම්ය. මැති ඇමැතිවරු වටේ ඕනෑ තරම්ය. එපමණක් නොව, විපක්ෂයේ කාර්යාල මන්දිර වටේ ද ඕනෑ තරම්ය.
ඒ සියල්ල දෙස පිටින් සිට උපේක්ෂාවෙන් බලා සිටින අපට නිරතුරුවම නිරුත්සාහයෙන්ම මතකයට එන අදහස මෙයයි….
“කලකදි වහලු කලකදි රස වෙනවාලු. එසේ නැත්නම් කලකදි රහලු කලකදි වස වෙනවාලු…”
මෙම සංකල්පයට දිගින් දිගටම නව අර්ථකථන සපයමින් මීට වසර තුන හතරක සිට අද දක්වාමත් අද පටන් ඉදිරියටත් රඟ දැක්වෙන අලුත්ම ජවනිකා වැළක නව අත්දැකීමක් අප සතුව පවතී. ඒ වූ කලී අන් කිසිවක් නොව… මේ රටේ ෆොන්සේකා භූමිකාවයි… ඒ භූමිකාව මේ රටේ සමාජයේ වැඩිපුර කතාබහට ලක් වන්නට සමාජගත වූ දා පටන්ම අපි මේ දක්වාම දකින්නේ ඉහත කී සංකල්පයේ අලුත් අලුත් අත්දැකීම්ය…. අලුත් අලුත් ජවනිකාය.
ගාර්දි හේවගේ සරත් චන්ද්‍රසිරි ෆොන්සේකා හෙවත් ජෙනරල් ෆොන්සේකා හමුදා සේවයට එක් වන්නේ 1970 පෙබරවාරි මාසයේ 05 වැනිදාය. ඔහු දෙවන ලුතිනන්වරයකු ලෙස නිලධාරියකු වී හමුදා සේවය අරඹන්නේ 1971 ජුනි මාසයේ 01 වැනිදා සිටය.
1950 වසරේ දෙසැම්බර් මාසයේ 18 වැනිදා ඉපිද, වයස අවුරුදු 19 දී හමුදා සේවයට එක්වන ෆොන්සේකා සිය වසර 35 ක හමුදා සේවා කාලය නිමවා මේජර් ජනරාල්වරයකු ලෙස හමුදා සේවයෙන් විශ්‍රාම යන්නට නියමිතව තිබුණේ ඔහුට හරියටම අවුරුදු 55 සපිරෙන දිනය වන 2005 දෙසැම්බර් මස 17 වැනිදාටය.
ෆොන්සේකාගේ යුද හැකියාව සහ යුද පිටියේදී දක්වන විශිෂ්ටත්වය ගැන මැනවින් දත් ආරක්ෂක ලේකම්වරයා ශ්‍රී ලංකා ආරක්ෂක ක්ෂේත්රයට පත්ව එන්නේ ඔය කාල වකවානුව අතරතුරය. ඔහු මේජර් ජනරාල්වරයකු ලෙස විශ්‍රාම යන්නට සිටින සරත් ෆොන්සේකාට විශ්‍රාම යන්නට ඉඩ ලබාදෙන්නේ නැත… ඔහුගේ සේවය තවත් උපරිමයෙන් ලබාගන්නට කල්පනා කරන ඔහු ෆොන්සේකාට නව වගකීමක් පවරා දෙන්නේය.
එතෙක් කලක් ෆොන්සේකා කියා කෙනෙක් මේ රටේ හමුදා ක්ෂේත්රය තුළ හෝ යුද හමුදාව තුළ සිටියේද කියා වගක්වත් නැති පිරිස් ගණනාවක් ෆොන්සේකා ගැන කතාබහ කරන්නට පටන් ගත්තේ එතැන් පටන්ය.
සමහරු ෆොන්සේකා ගැන රස කර කර කතා කරන්නට පටන් ගත්හ. ෆොන්සේකාගේ වීර වික්‍රමාන්විත බව පිළිබඳ සටනේදී දක්වන කුසලතාවය, ඉක්මන් තීරණ ගැනීමේ හැකියාව, උපායශීලී බව නායකත්වය මහ ඉහළින් තබා වර්ණනා කරන්නට වූහ… තවත් සමහරු යුද නායකයකු ලෙස ෆොන්සේකා හමුදා රණවිරුවන් අතරතුරදී දක්වන මනුෂ්‍යත්වය ගැන සතුරා හමුවේ පෙන්වන රණකාමීත්වය ගැන ප්රශස්ති පවා ගායනා කළ ආකාරය අපට මතකය… ඒ කාලයේදී ෆොන්සේකා ඒ සැමටම අමාවටත් වඩා රසය…
ඒත් එක්කම තවත් පිරිසකට ෆොන්සේකා ඒ යුගයේ ආසනික්වලටත් වඩා වසය… සයනයිඩ්වලටත් වඩා විෂය ඒ පිරිස අතර වැඩිපුරම සිටියේ රාජ්‍ය නොවන සංවිධානවල බහුතරය හා ඔවුන්ගේ සහයෝගය ලබන ජනමාධ්යයෝය. ඔවුහු ෆොන්සේකා යුද්ධයේදී පෙන්වන තිරස්චීන බව, අසංවිධානාත්මක බව, අසංස්කෘතික බව, දුර්වල නායකත්වය හා බියසුලු නිවටකම ගැන නැති කතා ඇති කරමින් වර්ණනා කරන්නට වූහ. සැමට වාලුන් ලෙස සැලකූ එම කණ්ඩායමට ෆොන්සේකා පෙනෙන්නටම බැරිය.
රජය යුද්ධය පටන් ගත්තේය. රජය, ජනාධිපති, ආරක්ෂක ලේකම් හා ෆොන්සේකා එදා එකම බෝට්ටුවේය. සමහර ජනමාධ්‍යය එදා උත්සාහ කළේ මේ සිව්දෙනා ඉදිරියට යන නිදහසේ මාවත නමැති බෝට්ටුව ජනමතය නමැති මහා සාගරයේ ගිල්ලවා දියබත් කරන්නටය.
යුද්ධය හොඳටෝම ගිනි ඇවිලී තිබිණි. මේ අතරතුර හිටි හැටියේම කොටි බෝම්බකාරියකගේ ගොදුරක් බවට පත් වූ හමුදාපති සරත් ෆොන්සේකා හමුදා මූලස්ථානයේදීම බරපතල ලෙස තුවාල ලැබීම ඊළාම් වාදීන්ගේ හා සාමවාදීන්ගේ බරපතල සතුටට හේතුවක් වූයේය. ඇතැම් ජනමාධ්‍ය එදා ෆොන්සේකා බෝම්බකාරියගේ ග්‍රහණයට හසු වී තුවාල ලැබීම දෙස බැලුවේ ඇස් කොනින් කුඩාවට යෑයි කිවහොත් එය නිවැරදිය. සමහරුන්ට එදා එය බරපතල ප්‍රවෘත්තියක් වූයේද නැති තරම්ය. එදා ඒ ජනමාධ්‍ය සේවය කළේ රටේ ඊළාම් වාදයට බව අතීතය මතක සමහරුන්ට තවමත් මතක ඇතැයි නිසැකය.
එදා ඒ ජනමාධ්‍ය කතා කළේ කොළඹ තැන තැන සිදුවුණා යෑයි කියන අතුරුදන් වීම් ගැනය. යම් යම් මාධ්‍යවේදීන්ගේ මරණ ගැනය. කොළඹ ප්‍රදේශයේ හෝ අන් ප්‍රදේශවල තැන් තැන් වල හමුවන නන්නාඳුනන දෙමළ තරුණයන්ගේ මළ සිරුරු ගැනය. රෑට රෑට පැමිණ දෙමළ තරුණයන් උස්සන සුදු වෑන් ගැනය.
ඒ හැම මාධ්‍යයක්ම එදා ඒ අතුරුදහන් වීම්, සුදු වෑන්, තැන තැන ඇති මරණ, මළ මිනී ගැන ඇඟිල්ල දිගුකරමින් කතා කළේ රට කරවන රජයට, ආරක්ෂක ලේකම්ට හමුදාපතිට සම සමව වරද පටවමින් බව කාට මතක නැතත් අපට මතකය.
යුද්ධය රජය ජය ගත්තේය. ප්රභාකරන් හා ඔහුගේ බලවේගය සහමුලින්ම විනාශ වී ගියේය. ඉහත කී ජනමාධ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන තටු අකුළා ගත්හ…. ඒ සමගම සියල්ලක්ම වෙනස් වී සංක්‍රාන්ති සමයක් උදාවන්නට පටන් ගත්තේය.
යුද්ධය ඉවර වූ පසු ෆොන්සේකා ඇමෙරිකාවට ගියේය. යළි ආවේය. සියල්ලෙහි උතුර දකුණ මාරුවන්නට පටන් ගත්තේය.
ෆොන්සේකා තම සේනාධිනායක ජනාධිපති මහින්ද රාජපක්ෂට එරෙහිව ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නට තීරණය කළේය. ඒ තීරණයත් සමඟම සියල්ලෙහි උතුර දකුණ මාරුවන්නට පටන් ගත්තේය.
කලකදි රහලු කලකදි වහ වෙනවාලු යන උවම තව තවත් සනාථ කරමින් ෆොන්සේකාගේ මිතුරන් සියල්ල සතුරන් බවට පත්වන්නට පටන් ගත්හ. එහෙත් සතුරුව සිටිමින් යුද්ධ සමයේ ෆොන්සේකාට දස වධ දුන් ඊළාම්වාදීහු, ඊළාම්වාදී ජනමාධ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන ෆොන්සේකාවාදීහු වන්නට පටන් ගත්හ.
ෆොන්සේකා ද තම අතීත සතුරන් හා අත්වැල් බැඳ ගන්නට පටන් ගත්තේය. මිතුරන් සතුරු වූහ. සතුරන් මිතුරු වූහ. ෆොන්සේකා ද අන්දමන්ද වී ගියේය. හොද නරක හරි වැරැද්ද මොකක්ද කියා පැහැදිලි නිගමනයක් තෝරා ගැනීමක් නොමැතිව ඔහු ද තමා වටා සිටි ජනමතය හා ජන ගඟ හරහා පාවී යන්නට පටන් ගත්තේය.
වසර දෙක තුනකට පෙර සිදුවූ ඒ අමිහිරි සිදුවීම් ගැන තව තවත් අමුතුවෙන් කිවයුතු නැත. සියල්ල අද වාගේ මේ රටේ මධ්‍යස්ථ මතධාරි ජනතාවට නිවැරදිව මතක ඇතුවාට සැකයක් නැත.
සියල්ල අවසානයේ ෆොන්සේකා සිරගෙදරට නියම වූයේය. මේ රටේ බහුතර සාධාරණ ජනතාව ඉන් සතුටට පත්වූයේ නැතත් ඒ දෙස උපේක්ෂාවෙන් බලා සිටියේ එම දිනවල ෆොන්සේකාගේ ක්‍රියාකලාපය ද සැලකිල්ලට ගෙනය. එහෙත් යුද සමයේ ෆොන්සේකා නරුම සතුරකු ලෙස සැලකූ පිරිස ෆොන්සේකා හිරගෙට යොමුවීමත් සමගම කඳුළු සලන්නට පටන්ගත්හ. ඔහුගේ නිදහස පතා ඝෝෂා කරන්නට ද පටන් ගත්හ.
මේ නොබෝදා ෆොන්සේකා නිදහස ලබා ආපසු ගෙදර ගියේය. මේ රටේ බහුතර ජනතාව ෆොන්සේකාට නිදහස ලැබීම ගැන සතුටට පත්වූ බව නිසැකය. එහෙත් ෆොන්සේකාගේ නිදහස ලැබීම උත්කර්ෂයට නගමින් මේ රටේ ජනතාව වෙත නිදහසේ සංදර්ශන ඉදිරිපත් කරන්නට වූහ.
ජනතාව මෙහිදී එක දෙයක් මතක තබාගත යුතුය. ඒ ගැන ප්‍රශ්න කළ යුතුය. ෆොන්සේකාගේ නිදහස උත්තේශයට නගමින් ජනතාවට සංදර්ශන ඉදිරිපත් කළ එකී මාධ්‍ය ෆොන්සේකා එදා බෝම්බකාරියකගේ ග්‍රහණයට අසුවී තුවාල ලබා ජීවිතයත් මරණයත් අතර සටනක සිටියදී කළ මාධ්‍ය සත්කාරය කුමක්ද?
ජනතාවට එය අමතක නැත. කළ යුත්තේ අපහසුවෙන් වූවද ඒ යටගිය මතකය අලුත්කර ගැනීමය. ඒ මතකය හරහා සතුරන් මිතුරන් වීමේ හා මිතුරන් සතුරන් වීමේ මහා දේශපාලන සංදර්ශනයේ යථාර්ථය කුමක්දැයි වටහා ගැනීමට ඉඩකඩ ලැබෙනවා නිසැකය.
ෆොන්සේකා සාධකය වූ කලී කලකදි වහලු කලකදි රස වෙනවාලු නාට්‍යයේ එක් නාට්‍යමය සංදර්භයක් පමණි. ඊටත් වඩා වටිනා නාට්‍ය සංදර්ශන අද ඇත්තේ මහ මැති ඇමැති මහ මැදුරුවල බව නොකියා සිටිය නොහැකිය.
ඒ හැම තැනකම ඇත්තේ සතුරන් මිතුරුවීම නොව, තම සතුරුකම පිරිමහන්නට ඉඩක් ලැබෙනා තුරු කල් මරමින් සතුරුකම යටපත්කර මිත්‍රත්වයේ වෙස්මුහුණ ගෙන එහි ආටෝප සාටෝප හා පැළඳගෙන ලොවටම පෙනෙන්නට සිනාසී සිටීම නොවේද…..
Leave a comment