ලිබියානු නායක මුවම්මර් ගඩාෆි පලායමින් සිටියදී බටහිර බලවතුන්ගේ ආධාර ලබමින් ඔවුන්ගේ කුලී හේවායන් වශයෙන් ක්‍රියා කරන “කැරලිකරුවන්” යෑයි හඳුන්වන සන්නද්ධ කල්ලිය එල්ල කළ වෙඩි පහරින් යෑයි ඔවුන් ප්‍රකාශ කළ නමුදු, එසේ නොවන බවත් වාහන පෙළක ගමන් කරමින් සිටි ගඩාෆි පණපිටින් අල්ලාගෙන වධ දී ඝාතනය කරන ලද බවත් දැන් හෙළිවී තිබේ.
ඇමරිකාව, ප්‍රංශය, බ්‍රිතාන්‍යය ප්රමුඛ බලයෙන් උද්දාම වූ නේටෝ (උතුරු අත්ලන්තික් ගිවිසුම් සංවිධානය) නායකයන් ගුවනින් ලිබියාවට බෝම්බ දමා මිනී මරමින්, බිමින් ගඩාෆිට පහරදීමට එරට ආණ්ඩු විරෝධී කොටස්වලට ආයුධ ඇතුළු සලකවිධ ආධාර සපයමින් උසිගැන්වූහ.
මේ නිසාම, ගඩාෆි මරා දැමීමත් සමඟ ඉමහත් සන්තෘෂ්ටියට පත් නේටෝ ප්‍රධානියා මෙම පුවත එනතුරු නොඉවසිල්ලෙන් බලා සිටි බව ප්‍රකාශ කළේය.
ලිබියාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩය යෝජනාවක් සම්මත කළේ එරටට යන එන ගුවන් ගමන් තහනම් කරමිනි. එහෙත් ආරක්ෂක මණ්ඩලයේ සාමාජිකයන් වන නේටෝ ප්‍රධානීන් කළේ ගුවනින් ගොස් පහර දීමය. ගුවන් ගමන් තහනම් කළ ඔවුන්ට ගුවනින් ප්‍රහාර එල්ල කිරීම මවිතයට කරුණක් නොව අපරාධයකැයි දේශපාලන නිරීක්ෂකයෝ පෙන්වා දෙති. මෙය රුසියා විදේශ ඇමැති සර්ජි ලැව්රොව් සිකුරාදා කළ ප්‍රකාශයෙන් සක්සුදක් සේ පැහැදිලි වෙයි.
එක්සත් ජාතීන්ගේ නියමය වූයේ ලිබියානු අහසේ ගුවන් ගමන් තහනම් කිරීමටත් එහි සිවිල් වැසියන් ආරක්ෂා කිරීමටත් යෑයි ලැව්රොව් පැවසීය.
රුසියා විදේශ ඇමැතිවරයා මෙසේ ද ගෙනහැර දැක්වීය.
“ගුවන් ගමන් තහනමට බිම්ගත පහරදීම්වලටත් කිසිදු සම්බන්ධකමක් නෑ. ගඩාෆි ගමන් කළ රථ පෙළට පහරදීම ද ඊට ඇතුළත් නොවේ. තවද එම රථ පෙළ කිසිවකුට පහරදීමක් සිදුකර නැත.
ගඩාෆි ගමන්ගත් රථවලට නේටෝ ගුවන් ප්‍රහාරයක් එල්ලවූයේ එම රථ නතර කරවීමට මිස විනාශ කිරීමට නොවේ. එක්සත් ජාතීන්ගේ නියමය ඉක්මවා ක්‍රියා කිරීම ගැන හෙතෙම නේටෝ හමුදාවලට චෝදනා කළේය.
රුසියා ගුවන් විදුලියෙන් සජීවී ප්‍රකාශයක් කළ ලැව්රොව් ගඩාෆි ඝාතනය සිදුකර තිබෙන ආකාරයෙන් ප්‍රශ්න ගණනාවක් ඉස්මතු වන බව කියා සිටියේය.
නේටෝ ක්‍රියාවෙන් ජාත්‍යන්තර නීතිවලට අදාළ කරුණුවලදී අපට ද තැකීමක් ඇතිකරවන බව ද ඔහු කියා සිටියේය.
ලිබියා අන්තර්වාර ආණ්ඩුව කියන පරිදි ගඩාෆිගේ මරණය සිදුවූයේ නේටෝ ප්‍රහාරයෙන් නොව ඔවුන් විසින් ඝාතනය කිරීම යෑයි රුසියාව විශ්වාස කරන බව ද හෙතෙම ඇඟවීය.
කර්නල් ගඩාෆි ජාත්‍යන්තර දේශපාලන කරලියේ අමුතු ඝනයේ පෙරළිකාරයෙක් විය. කුඩා වියේ සිට ඝාතනය කිරීම දක්වාම විප්ලවවාදියෙකි. ඇමරිකාව ඇතුළු බටහිර බලවතුන්ගෙන් කොතෙක් බලපෑම් තර්ජන එල්ල වුවද ඔහු සිය විප්ලවීය පන්නරය හා ගතිපැවතුම් අත් නොහැරියේය. ගාම්භීර සීනු හඬකින් යුත් ගඩාෆි අන් රටවල නොමැති තමන්ගේම පාලන ක්‍රමයක් ඇතිකොට පවත්වාගෙන ගියේය. විදේශිකයන් සතුව පැවැති තෙල් සමාගම් ජනසතු කොට එමගින් රටේ විශාල සංවර්ධනයක් ඇති කළේය.
පාර්ලිමේන්තු ක්‍රමය ගැන ගඩාෆි මෙසේ ප්‍රකාශ කළේය.
අද පවතින සාම්ප්‍රදායික ප්රජාතන්ත්රවාදයේ ජීවනාලිය වන්නේ පාර්ලිමේන්තුවයි. එහෙත් පාර්ලිමේන්තුව ජනතාව නිසි ලෙස නියෝජනය කරන්නක් නොවේ. පාර්ලිමේන්තු ක්‍රමය, ප්රජාතන්ත්රවාදය පිළිබඳ ප්‍රශ්නයට සපයන ලද ව්‍යාජ විසඳුමකි. මූලාරම්භයේ දී පාර්ලිමේන්තු ක්‍රමය සකස් කරන ලද්දේ ජනතාව නියෝජනය කිරීමට ය. එහෙත් මෙය ප්රජාතන්ත්රවාදී නො වේ. මන්ද? ප්රජාතන්ත්රවාදයේ නියම අර්ථය ජනතාවගේ අධිකාරය මිස ඔවුන් වෙනුවෙන් කටයුතු කරන්නෙකුගේ අධිකාරය නොවේ. පාර්ලිමේන්තුවක් පැවතීමෙන් පෙන්නුම් කෙරෙන්නේ මහජනතාව එතැන නැති බවයි. සැබෑ ප්රජාතන්ත්රවාදය එය නොවේ. සැබෑ ප්රජාතන්ත්රවාදය පවතිනුයේ ජනතාවගේ සෘජු සහභාගිත්වය ඇති තැන පමණි. එසේ නැතිව ජනතාවගේ නියෝජිතයන්ගේ එකතුව නොවේ. පාර්ලිමේන්තුව යනු ජනතාවත් ඔවුන් සතු අධිකාරියත් අතරට පැමිණි නීතිමය බාධකයකි. එය ජනතාව සතු අයිතීන් ජනතාව අතින් උදුරා ගනියි. එය ජනතාව සතු ස්වාධිපත්‍යය තමන් අතට පවරා ගනියි. ඉන් පසුව මහජනයා සතුව පවතිනුයේ ප්රජාතන්ත්රවාදයේ ව්‍යාජ කඩතුරාවක් පමණි. ජනයාට උරුම ව ඇත්තේ පෝලිම් සෑදී කතිරය ගැසීමේ අයිතිය පමණි.
පාර්ලිමේන්තු ක්රමයේ යථා ස්වභාවය වටහා ගැනීමට නම් අප එහි සුලමුල හඳුනා ගත යුතුය. පාර්ලිමේන්තුව පවත්නේ ඡන්ද කොට්ඨාස පදනම් කොට ගෙනය. මෙහිදී පක්ෂ නැතහොත් පක්ෂ කීපයක් එකමුතු වී හැදුණු සමගි පෙරමුණුවලින් නියෝජිතයෝ ඉදිරිපත් වෙති. ඡන්දයෙන් නැතිනම් කිසිවෙකු විසින් නම් කරනු ලැබීමෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පත්වෙති. එහෙත් මේ සෑම ක්‍රමයක් ම ප්රජාතන්ත්ර විරෝධීය. ඒ මන්ද? ඡන්ද කොට්ඨාස අනුව ජනයා බෙදීම යනු එක් පාර්ලිමේන්තු නියෝජිතයෙකු මගින් දහසක් හෝ දස දහසක් හෝ ජනයා නියෝජනය කිරීමට උත්සාහ කිරීමකි. ඒ සමස්ත ජන සංඛ්‍යාවම නියෝජනය කරන්නා වශයෙන් පෙනී සිටිනුයේ ඔහු ය. එය එසේ වුවත් ඔහු සමස්ත ජනතාව නියෝජනය කිරීමට සමත් නොවේ. තමන්ට ඡන්දය දුන් අය සමග සංවිධානාත්මක සම්බන්ධතාවයක් පවත්වා ගැන්මට ඔහුට නොහැකි ය. මන්ද? ඔහු සමස්ත ජන පිරිසේ ම නියෝජිතයා ලෙස සැලැකෙන බැවිනි. මෙය පවතින සාම්ප්‍රදායික නියෝජ්‍ය ප්රජාතන්ත්රවාදී ක්රමයේ අවශ්‍යතාවයයි. මේ අනුව ජනතාව නියෝජිතයාගෙන් සම්පූර්ණයෙන් ම ඈත් කරනු ලබයි. නියෝජිතයා ද ජනතාවගෙන් සම්පූර්ණයෙන් ම හුදකලා වෙයි. ජනතාවගේ ඡන්දයකින් තේරී පත්වූ ජනතාවගේ ස්වාධිපත්‍යය ඔවුන් අතින් උදුරා ගන්නා ඔහු එතැන් සිට ජනතාව වෙනුවෙන් ක්රියාකරන්නා බවට පත්වෙයි. දැනට පවතින සාම්ප්‍රදායික ප්රජාතන්ත්රවාදය අනුව සෙසු ජනතාවට නොමැති පූජනීයත්වයක් හා විශේෂ බලයක් මන්ත්‍රීවරයා වෙත ආරෝපණය වේ. මෙහි තේරුම පාර්ලිමේන්තුව යනු ජනතාව සතු බලය ඔවුන් අතින් පැහැරගෙන එමගින් ජනතාව පීඩනයට පත් කරන ආධිපත්‍යයක මුහුණුවර ගැනීමයි. මේ නිසා තමන්ගේ ස්වාධිපත්‍යය හා ප්රජාතන්ත්රිය අයිතිය තමන්ගෙන් පැහැර ගන්නා ආයතනයන් විනාශ කිරීම සඳහා ජනතා විප්ලව මගින් නැගී සිට සටන් කිරීමේ අයිතිය ජනතාව සතුව ඇත. “ජනතාව වෙනුවෙන් නියෝජිතයන් එපා” යන නව ප්රජාතන්ත්රවාදී සිද්ධාන්තය මුරගා කීමට ජනතාවට අයිතියක් තිබිය යුතුය.
යම් හෙයකින් දේශපාලන පක්ෂයක් මැතිවරණයක් ජයග්‍රහණය කොට පාරලිමේන්තු බලය ලබා ගතහොත් එම පාර්ලිමේන්තුව තුළ ඇත්තේ ජයග්‍රහණය කළ පක්ෂයේ බලය මිස ජනතාවගේ බලය නොවේ. ඔවුන් එතැන නියෝජනය කරනුයේ ජනතාව නොව පක්ෂයයි. එම පාර්ලිමේන්තුව තුළින් විහිදෙන විධායක බලය ජයග්‍රාහී පක්ෂයේ බලයක් විනා ජනතා බලයක් නොවේ. ආණ්ඩු බලයක් හිමි නොවූවත් ආසන කීපයක් හිමිකර ගත් පක්ෂයක වුව තත්ත්වය එසේමය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙහි නියෝජනය කරනුයේ පක්ෂය මිස ජනතාව නොවේ. එබඳු පක්ෂ කීපයක් අත්වැල් බැඳ ගෙන පිහිටුවන සභාග රජයක් වුවත් බලය ඇත්තේ එම සභාගයට හවුල් පක්ෂවලට මිස ජනතාවට නොවේ. එබඳු ක්‍රමයක් යටතේ ජනතාව පත් වන්නේ දේශපාලන සංවිධාන විසින් මෝඩයින් බවට පත්කොට සූරාකනු ලබන අසරණ තත්ත්වයකට ය. මෙවැනි තත්ත්වයක් යටතේ පෙළගැසී ඡන්දය දැමීම වනාහි කුණු කූඩයකට කඩදාසි කැබලි විසි කිරීමට සමානය. ඒකපාක්ෂික, ද්වි පාක්ෂික, විවිධ පාක්ෂික, නො එසේ නම් පක්ෂ ක්‍රමයක් නැති ව අද ලොව පුරා වලංගුව පවතින සාම්ප්‍රදායික ප්රජාතන්ත්රවාදය මෙය යි. නියෝජන ක්‍රමය යනු ප්‍රොaඩාවක් බව මෙයින් පැහැදිලි වේ. පිය පුත් උරුමයෙන් බලය පැවැරෙන ආණ්ඩු ක්‍රම හෝ, පත් කරනු ලැබීමෙන් පැවැතෙන ආණ්ඩු ක්‍රම ප්රජාතන්ත්රවාදී ගණයට නොවැටේ. හැරත් පාර්ලිමේන්තු නියෝජිත ක්‍රමය සකස් වී ඇත්තේ දේශපාලන ප්‍රචාරය අනුව ඡන්ද දිනා ගැනීමේ පදනම මත හෙයින් එය ඡන්ද මිලට ගැනීම, හොර ඡන්ද දැමීම හා නියත වශයෙන් ම මිනිසුන්ගේ හැඟීම් ඇවිස්සීම මුල් කරගත් ක්‍රමයක් වන්නේය.
මේ ක්‍රමය යටතේ මුදල් නැති අයට තරගයට ඉදිරිපත් වීම බෙහෙවින් අසීරු ය. නිතරම පාහේ ජයග්‍රහණය හිමි වනුයේ මිල මුදල් ඇති තැනැත්තන්ටය. මේ ක්‍රමය තුළ ඉඩ තිබෙනුයේ පොහොසතාට පමණකැයි කීවත් නිවැරැදිය.
විවිධ දාර්ශනිකයන් චින්තකයන් සහ ලේඛකයන් නියෝජිත ප්රජාතන්ත්රවාදී ක්‍රමය ඉදිරිපත් කළේ වැසියන් තමන් නොදැනුවත්ව ම බැටළුවන් මෙන් රජවරුන්, සුල්තාන්වරුන්, සහ ජයග්‍රාහී සෙන්පතියන් විසින් පාලනය කරනු ලැබූ අවධියක ය. එම යුගයේ දී පොදුජනයාගේ එකම පැතුම වූයේ එම පාලකයන් ඉදිරියේ තමන් වෙනුවෙන් තමන්ගේ අයිතිවාසිකම් කීමට නියෝජිතයෙක් පත් කර ගැනීම පමණකි. එහෙත් නියෝජන ක්‍රමය යටතේ මෙම අපේක්ෂාව ද අහෝසි වී ගියේ ය. එතෙකුදු වුවත් තමන්ගේ අපේක්ෂාවන් ඉටුකර ගැනීම සඳහා දීර්ඝ සහ කටුක අරගලයක යෙදෙන්නට ජනතාවට සිදුවිය. ජනරජයන් සාර්ථකව බිහිවී පවතින මහජන යුගයක් වන අද දවස ගැන සිතන විට ප්රජාතන්ත්රවාදය වනාහි ජනතාව වෙනුවෙන් කටයුතු කිරීමට නියෝජිතවරුන් අතළොස්සක් පත් කිරීමේ ක්‍රමය යෑයි සිතීම තර්කාන්විත වන්නේ නැත. මෙවැනි යුගයක නියෝජ්‍ය ප්රජාතන්ත්රවාදී ක්‍රමය යල්පැන ගිය ක්රමයකි. සම්පූර්ණ බලය තිබිය යුත්තේ අන් කිසිවකු අත නොව ජනතාව අතෙහිමය.



