
දෙමළ ජාතික සන්ධානයේ උපවාසය
හිටපු එල්.ටී.ටී.ඊ. නායක වේලුපිල්ලේ ප්රභාකරන් ෂයිලොක්ගේ මස් රාත්තලේ න්‍යායම අනුගමනය කළ හෙයින් සෑම සාකච්ඡාවක්ම බැඳවැටිණි. අවසානයේදී වසර තිහක්ම යුද්ධ කිරීමෙන් පසු ප්රභාකරන් ඇතුළු එල්.ටී.ටී.ඊ. ය විනාශ කිරීමට හැකි වුවත් අනතුරුව උතුර පළාත තුළ පැනනැඟී ඇති ඉඩම් අර්බුදය හේතුවෙන් යළිත් වරක් ඊනියා මතවාද උතුරේ වැසියන්ගේ සිත් හා හදවත් තුළ පැළපදියම් වන්නට පටන්ගෙන තිබේ.
ප්රභාකරන් විසින් උතුරේ වැසියන් තුළ ජනිත කරවන ලද ඊනියා ඊළාම් මතිමතාන්තර හා වෙනම රාජ්‍යයක් සඳහා වූ සංකල්පයට දේශපාලන මුහුණුවරක් දෙනු ලැබුවේ දෙමළ ජාතික සන්ධානයයි. එල්. ටී. ටී. ඊ. ය පරාජය වීමෙන් පසුව එල්. ටී. ටී. ඊ. යේ අදහසත්, උතුරේ දෙමළ ජනතාවගේ අදහස්ද කරපින්නාගෙන දිගු ගමනක් යමින් සිටින දෙමළ ජාතික සන්ධානයට අලුත්ම මාතෘකාව වී ඇත්තේ උතුර පළාතේ සිදුවන ඉඩම් කොල්ලයයි.
දෙමළ ජාතික සන්ධානය උපවාස කරමින් රජයට ලිපි ඉදිරිපත් කරමින් ශේ්රෂ්ඨාධි කරණයේ නඩු පවරමින් හුවා දක්වන උතුරේ ඉඩම් අර්බුදය මිත්‍යාවක් නොවේ. යුද්ධයෙන් පසු වවුනියාව, මන්නාරම, මුලතිව් හා කිලිනොච්චි යන පළාත්වල සිදුකරන සංවර්ධන කටයුතු සඳහා රාජ්‍ය අංශයද, රාජ්‍ය අංශයේ ජ්‍යෙෂ්ඨයන් සමඟ සහසම්බන්ධකම් පවත්වන ව්‍යාපාරිකයන් උදෙසාද ආරක්ෂක අංශවල ගම්මාන, කඳවුරු හා ගොවිපළවල් පිහිටුවීම සඳහාද උතුරේ වැසියන්ට අයත් බලපත්‍ර සහිත හා ඔවුන් අනවසරයෙන් පදිංචිව සිටි ඉඩම් අක්කර සිය දහස් ගණන් රජයටත්, ආරක්ෂක අංශයටත්, ව්‍යාපාරිකයන්ටත් පැවරී තිබේ.
මේ ක්‍රියාදාමයට විරෝධය පළකිරීම සඳහා දෙමළ ජාතික සන්ධානය විසින් පසුගිය 17 වැනිදා වවුනියාව නගර සභා ක්‍රීඩාංගණයේ පැවැත්වූ එක්දින සංකේත උපවාස ව්‍යාපාරයට විශාල පිරිසකගේ සහාය ලැබී තිබුණේ ඇත්ත වශයෙන්ම එවැනි ඉඩම් කොල්ලයක් උතුරු පළාත තුළ සිදුවී හා සිදුවෙමින් පවතින නිසාවෙනි.
රාජ්‍ය අංශයේ සංවර්ධන කටයුතු සඳහා ඉඩම් අවශ්‍ය බව සැබෑවකි. එහෙත් ඒ සඳහා ඉඩම් ලබාගැනීමේදී අයිතිකරුවන් සිටින ඉඩම් ලබාගැනීමට යැම ගැටලුවකි. දකුණේ සංවර්ධන කටයුතු සඳහාද අයිතිකරුවන් සිටින ඉඩම් ලබාගෙන ඒ ඉඩම් වෙනුවෙන් වන්දි මුදල් ගෙවන ක්‍රමවේදයක් රජරට තුළ ක්‍රියාත්මක වන බැවින් උතුරේ ඉඩම් හිමියන්ගේ ඉඩම් ලබාගැනීමේ ඇති අසාධාරණය කුමක්දැයි මෙහිදී අයෙකුට ප්‍රශ්න කළ හැකිය. නමුත් දකුණේ පවතින පරිසරයත් දැනට උතුරේ පවතින පරිසරයත් අතර විශාල වෙනස්කමක් පවතී. දැනටමත් රජය විසින් මෙම ඉඩම් ලබාගැනීමේ ක්‍රියාවලිය උතුර ප්‍රදේශය තුළ ජාතිවාදී ස්වරූපයකට පෙරළෙමින් පවතී. මේ තත්ත්වය ඉතා බියකරු මෙන්ම අවදානම් සහගත ක්‍රියාවකි. ඉතා කෙටියෙන්ම මෙහි දැක්වුවහොත් මුලතිව් දිස්ත්‍රික්කයේ වැලිඔය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ස්ථිර කොට තහවුරු කිරීමත් එය සංවර්ධනය කිරීමත් ජාතිවාදී ස්වරූපයකින් දෙමළ ජනතා සන්ධානය දකින්නේ උතුරේ දිගින් දිගටම සිදුවන ඉඩම් කොල්ලය හේතුවෙනි. උතුරේ වැසියන්ගේ ඉඩම් රජය ලබාගන්නා තුරු වැලිඔය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පිළිබඳව මෙතෙක් කිසිදු අර්බුදයක් ගොඩ නොනැඟිණි. නමුත් එය දැන් අර්බුදයක් වෙමින් පවතින්නේ බලහත්කාර ඉඩම් කොල්ලය නිසාවෙනි.
මේ වන විට වැලිඔය සඳහා වෙනම ප්‍රාදේශීය සභාවක් පිහිටුවීමටද රජය කරුණු සාකච්ඡා කර ගෙන යමින් පවතී. ඊටද විරෝධය එල්ල විය හැකි වන්නේ ඉඩම් කොල්ලය නිසාවෙනි. දෙමළ ජාතික සන්ධානය හා එක්වී එම පළාත්වල වැසියන් විසින් ඉඩම් කොල්ලයට එරෙහිව කරගෙන යන විරෝධය දැන් වැලිඔය වෙතද එල්ල වී තිබේ. මේ තත්ත්වය අපේ රටට එතරම්ම සුබදායක දෙයක් නොවේ.
ඉඩම් කොල්ලයට එරෙහිව උපවාසයට පැමිණි එක් දෙමළ කාන්තාවක් දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන්ට කියා සිටියේ යුද්ධයෙන් අහිමි වී ගිය පණ හා මිනිස් ජීවිත හැරෙන්නට අනෙක් සියලුම දේ ලබාදෙන බව කී ජනාධිපතිවරයා උතුරේ වැසියන්ගේ ඉඩම් අසාධාරණ අන්දමට අත්පත් කරගන්නා තුරු ඔබලා බලා සිටිනවාද? යනුවෙනි. එතැනින් නතර නොවූ ඇය ඊට විරුද්ධව අප ගෙනයන සටන පිටුපසින් ඔබලා පැමිණිය යුතු බවද ප්‍රකාශ කළාය.
උතුරේ වැසියන්ට සාමය ආරම්භ වීමත් සමඟම ඔවුන් බලාපොරොත්තු වූ සියල්ල සැනින් නොලැබීම නිසා ඔවුන් අපේක්ෂා භංගත්වයකට පත්ව සිටිති. ස්ථිර නිවාස නොලැබීම, යුද්ධයෙන් හානියට පත්වූ දේපළ හා මිනිස් ජීවිත වෙනුවෙන් වන්දි නොලැබීම, ආර්ථික සංවර්ධන කටයුතු සඳහා බලාපොරොත්තු වූ තරමට රජයෙන් සහාය නොලැබීම යන හේතූන් මත ඔවුන් අපේක්ෂා භංගත්වයකට පත්ව සිටීමද අරුමයක් නොවේ.
අපේක්ෂා භංගත්වයට පසුව හට ගැනෙනුයේ වෛරයයි. දැන් දැන් වෛරයේ විෂබීජ හා ගිනිපුපුරු උතුරේ වැසියන් තුළට කෙමෙන් කෙමෙන් ඇතුළු වෙමින් පවතී. දෙමළ ජාතික සන්ධානය ඊට අනුබල දීමත් සමඟම උතුරේ වැසියන් තුළ එක්රැස්වන ජාතිවාදයේ විෂබීජ තව තවත් ව්‍යාප්ත වෙයි. මේ සියල්ලටම මුල වී ඇත්තේ ඔවුන් සතු ඉඩම් විවිධ අවශ්‍යතා සඳහා ඉවක් බවක් හෝ නිසි ක්‍රමවේදයක් නොමැතිව රජය විසින් අත්පත් කර ගැනීමයි. දෙමළ ජාතික සන්ධානය මේ තත්ත්වය දඩමීමා කර ගනිමින් ජාතවාදී ස්වරූපයක විරෝධතාවක් තැන තැන සංවිධානය කරමින් පවතී.
කාලාන්තරයක්ම දෙමළ නිජබිම ලෙස මේ ඉඩම් සලකාගෙන සිටි උතුරේ වැසියන් කෙරෙන් ඉඩම්වල අයිතිය ගිලිහී යැමත් සමඟම ඔවුන් සිතන්නේ මේ ක්‍රියාදාමය දෙමළ ජනයාට එරෙහිව සිදුවෙමින් පවතින ක්‍රියාදාමයක් වශයෙනි. එල්. ටී. ටී. ඊ. ය බිහිවූයේත්, යුද්ධය දික්ගැස්සී ගියේත් මෙවැනි දුර්මත, වෛරය, සැකය, අසාධාරණය යන හේතූන් එකින් එක එක්වෙමින් ඒවා ගොඩක් බවට පත්වීම නිසාය. යළිත් එවැනි අමිහිරි පරිසරයකට මේ රට තල්ලු වී යැමට බලධාරීන් ඉඩහරින්නේ නම් මිනිස් ජීවිත විශාල ප්‍රමාණයක් හා විශාල දේපළක් ආර්ථිකයත් නැති කොට ලබාගත් සාමයෙන් ප්‍රයෝජනයක් නොමැත.
මේ නිසා වෛරයේ විෂබීජ තැනින් තැන වැපිරී ඒවා මහ කඳු බවට පත්වීමට පෙර උතුරේ වැසියන්ගේ ඉඩම් අර්බුදයට ස්ථිරසාර විසඳුමක් ලබාදීමට ජනාධිපතිවරයා අනිවාර්යයෙන්ම මැදිහත් විය යුතුය. උපවාසයට පැමිණි වැසියන් ඉල්ලා සිටියේද ජනාධිපතිවරයා මීට මැදිහත් වී තමන්ගේ ඉඩම් තමන්ට ලැබෙන ක්‍රමයක් සකස් කොට දෙන ලෙසය.
යුද්ධයේ අවසන් භාගයේදී එදා නන්දිකඩාල් කලපුව තරණය කොට පැමිණි ලක්ෂ සංඛ්‍යාත ජනයාට යුද හමුදාව උවටැන් කළ අවස්ථාවේදී අපේ එකම ගැලවුම්කරුවන් හමුදාව මිස එල්.ටී.ටී.ඊ. ය නොවේ යෑයි බොහෝ දෙමළ වැසියෝ පැවසූහ. ගත් වූයේ වසර දෙකකි. උතුරේ ඉඩම් අර්බුදය නිසා දැන් එම වැසියෝ පවසන්නේ හමුදාවද ඔවුන්ගේ ඉඩම් ආක්‍රමණය කරන බවයි.
හමුදා කඳවුරු ඉදිකිරීමට, හමුදා ගම්මාන පිහිටුවීමට, ගොවිපළවල් ඇති කිරීමට හා වෙනත් අවශ්‍ය කටයුතු සඳහා උතුරේ වැසියන්ගේ ඉඩම් ලබාගැනීම නිසා දෙමළ ජනතාව තුළින් යුද හමුදාවට එරෙහිව විශාල වෛරයක් ගොඩනැඟෙමින් පවතී. මේ තත්ත්වයද එතරම් සුබදායක නොවේ.
උතුරේ ඉඩම් උතුරේ වැසියන්ට අහිමිවීමත් සමඟම හටගෙන තිබෙන මෙම අර්බුදය විසඳීමට ජනාධිපතිවරයා මැදිහත් නොවුණොත් දෙමළ ජනතා සන්ධානය මේ අසාධාරණකම උලුප්පාලමින් තවත් අලුත් හා අමුතු සංස්කෘතියක් උතුර පළාත තුළ නිර්මාණය කරන බව බොරුවක් නොවේ. එම තත්ත්වයට උතුර පත්වීමට පෙර උතුරේ ඉඩම් අර්බුදයට විසඳුමක් ලබාදීමට ක්‍රියාකිරීම අනාගතය වෙනුවෙන් සුබදායක වන කරුණක් බව මෙහිදී අවධාරණය කළ යුතු වෙයි.



